Monday, April 20, 2020

අලකලංචිය - දෙවන කොටස

දොර ඇරපන් කෙල්ලේ...පොලීසියෙන්..' හෙලේනා කීවාය.
'උඹ පොඩි එකී එක්ක හිටාන්..මම බලල එන්නම්...'
මාලනී ගොස් දොර විවෘත කලාය.
'මෙහෙට ආවද වයසක ගෑණු කෙනෙක් පොඩි දරුවෙක් එක්ක..'
'ඔව් රාලහාමි ..ඒ මගේ නැන්දා..'
'කෝ...එන්න කියනව එයාට..'
හෙලේනා කුඩා දැරිවියට කුස්සියෙන් ඉන්න යැයි කියා පොලිස් නිලධාරීන් හමුවේ පෙනී සිටියාය.
'තමා මෙහෙට ආවේ ත්‍රීවීලර් එකකින් නේද ?'
'ඔව් රාලහාමි ..'
'මගදි එනකොට පාලම පල්ලෙහා මිනිහෙක් මරලා දාල තිබ්බා..තමුන් ඒක දන්නව ඇතිනේ..ඒ ගැන පරීක්ෂණ කරන්න ආවේ....ඇයි ත්‍රීවීලර් එකේ ඇවිල්ලා ගේ ලඟින් නැතුව මගින් බැස්සෙ..'
'මේ පටු පාරට ත්‍රීවීලර් දාන්න මිනිස්සු කැමති නෑ..කොහොමත් මන් එනකොට හැමදාම එහෙම තමා..මගින් බැහැල එන්නේ...අනික ඔය මැරිල ඉන්න මිනිහට මට තියන සම්බන්දෙ මොකද්ද ..'
'අපිට තොරතුරු ලැබිලා තියනවා සැකකටයුතු හැසිරීමක්..ඒකයි අපි හොයන්නේ..කරුණාකරල අපිට සහය වෙන්න...ඇයි රාජගිරියෙ ඉඳන් ලේසියෙන්ම ත්‍රීවීලර් එකක මෙතනට එන්නෙ නැතුව බස් එකේ නැගලා මහ නියර හන්දියෙන් බැහැලා ත්‍රීවීලර් එකකින් ආවේ.? මොකද්ද එහෙම කරන්න තියන හේතුව ?..'
'ඇයි රාලහාමි අපිට කැමති විදියට අපේ ගෙදර එන්න බැරිද අපිට..' හෙලේනා උස් හඬින් ඇසුවාය.
'කටගහන්නෙ නැතුව අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා..'
'මට ඕන නිසා මම ආවේ ..එච්චරයි ..'
'කෝ තමන් එක්ක ආපු පොඩි දරුවා..ඒ කාගෙ කවුද?..'
'කෙලී කුස්සියේ...ඒ මගේ මේ දුවගේ දරුවා....චූටි දුවේ...පොඩ්ඩක් එන්න...'
පොලිස් පරීක්ෂක මහතා කුඩා දැරියගෙන්ද ප්‍රශ්න කිහිපයක් ඇසුවේය. ඔහු අත ඇති චොක්ලට් එකක් ඇයට දුන්නද ඇය එකහෙලා එය ප්‍රතික්ෂේප කලාය. මාලනීගෙනුත් ප්‍රශ්න කිහිපයක් ඇසූ නිලධාරීහු අවශ්‍ය වුවහොත් නැවත පැමිනෙන බව දන්වා පිටත්ව ගියෝය.
'අර තීවිල් කාරය තමා ටිප් එක දෙන්න ඇත්තේ..මොන මගුලක්ද යකෝ..අපි කරපුවට අල්ලගන්නවනම් කමක් නෑ..නොකරපු රෙද්දවල් එනකොට තමයි වසන්න බැරි ...අනික උන් උඹව දන්නෙ නැද්ද...අලුතෙන් ආපු පොලිස් කාරයොද බන්...'
'නෑ නැන්දේ...දැකලා පුරුදු උන් නෙමෙයි ..අලුතෙන් ආපු උන් වෙන්නැති...'
'මාලනියෝ..මට ඇත්ත කියපන් උඹද ඔය ගේම් එක දුන්නේ....මට උඹව සැකයි..'
මාලනීගේ දෙනෙත් දීප්තිමත් විය. හෙලේනාගේ දෑස් දෙස එක එල්ලේ බැලූ ඈ මද සිනාවක් පෑවාය..එය සාමාන්‍ය ලෙන්ගතූ සිනාවක් නොවීය..
'උගේ කාලේ ඇවිල්ලනම් යන්න එපැයි..ඒකට අපි පලි නෑනේ...' මාලනී කීවාය.
'ඌ කොහේ එකෙක්ද...අර ත්‍රීවීල් කාරයා කිව්ව මෙහේ එකෙක් වෙන්න බෑ කියල...'
'ත්‍රීවිල් කාරයා දන්න රෙද්ද...ඌ වත්තෙ එකෙක්..'
'මම නොදන්න කවුද බන් වත්තෙ එකා..'
'අර චාල්ස් අයියලගෙ ගෙදර හිටපු කොන්ඩෙ බොකුටු එකා..'
'ආ...ඌ උඹට හදි කරන්න ආවද?'
'දෙතුන් වතාවක් මම ඉන්නකොට ඇවිල්ලා බලෙන් කතාකරල යනවා..ඌ මට ඌත් එක්ක බුදියගන්න කතා කලා..එවෙලෙම කම්මුල් පාරක් ගහල පයින් ඇන්නා...බලාගන්නම්කො වේසි කියල ගියේ....ආයි ආවෙ නෑ හැබැයි ...'
'හැම එකත් එක්කම අඩව් අල්ලන්න යන්න එපා බොල..ඉස්මතු වෙන්නෙ නැතුව හිටපන්...අනික දැන් කවුද උඹට රැකවරනෙ දෙන එකා..'
'මම ආයේ මෙහෙට ආවම පස්සෙ කලු රංජිය කෙලින්ම මං හම්බවෙන්න ආවා..උගේ සේනාව වටකරගෙන ..'
'මන් හිතුවා...ඉතින් ..'
'ඌ කිව්වා ..මට උඹත් එක්ක කිසිම ගේමක් නෑ..තියෙන්නෙ සෝමයත් එක්කයි කියල..ඌ උඹවත් මතක් කලා..මට කිසිම කරදරයක් වෙන්න දෙන්නෙ නෑ කිව්වා...'
'ඌට කැක්කුම තියනවා..උඹ දන්නවනේ ඌ උඹලගෙ ලොකු තාත්තා ගේ ගජයෙක්..ඒක නිසා ඌ දන්නව උඹ තමයි අන්තිම පුරුක කියල..මමත් ගියාම පස්සෙ අපේ පරම්පරාවේ උඹ විතරයි කෙල්ලේ...සෝමයලට ඕන උනේ අපේ පරම්පරාව හැඳිගාවල දාන්න..ඒකයි මම කියන්නෙ ඌ ආයෙ ආවොත් පරිස්සමෙන් කියල...'
'රංජිය මාත් එක්ක ඇතුලට ඇවිල්ලා තනියම කතා කලේ...'
'ඌ කිව්ව නේද සෝමයව අනිවාර්යයෙන් බාවනව කියල...'
'ඔව්...එහෙම කිව්වා...මට එකෙක් හරි අතක් තියන්න ආවොත් කියන්න කිව්ව..අනික උගේ එවුන් දෙතුන් දෙනෙක් වටේට දාල ඉන්නේ මගේ ආරක්ෂාවට..ඒකයි මම උඹට කිව්වෙ බයවෙන්න දෙයක් නෑ කියල..'
'ඒත් මම කලින් කිව්ව වගේ පරිස්සමෙන් කෙල්ලේ..උන්ගෙ හිටපු ගමන් වෙස් පෙරලෙනවා...එකට හිටපු එකා විශ්වාස නැතුව තියල දාන සයිස් එකෙ උන්..ඔක්කොටම ඕනේ ලොක්ක වෙන්න...දැන් බලපන් නාවල නිහාල් කෝ...කෝ...ආගිය අතක් නෑ...ඕව තාවකාලිකයි කෙල්ලේ...එකෙක් නැගගෙන එනකොට ඌට විරුද්ධවාදියා තියල දානවා.නැත්නම් උගේම ලඟ එකෙක් ගේම දෙනවා...මේකේ සදාකල් වැජඹෙන්න බෑ...මොකෙක් හරි ඇමතියෙක් අල්ල ගන්නවා..උගේ බලෙන් කෙරුමො වෙනවා..ඇමතිය පරාද වෙච්චහම උලත් නෑ පිලත් නෑ...ඒකනේ උපාලියට උනෙත්....මම දන්නව කොච්චර කිව්වත් උඹට මේවා කියනවට වඩා හොඳයි මගේ කට ගලක උලාගත්තනම්...'
'උඹ මන් ගැන දසමෙට තේරුම් අරන් ඉන්නේ නැන්දේ...ඕව කියල උඹේ වචන නාස්ති කරගන්න එපා...'
'ඒ මොනව උනත් උඹ මුල්තැන දෙන්න ඕන මේ පොඩි එකීට..උඹට බැරිනම් කියපන් මට මේකි වැඩි නෑ..ආයේ ගෙනියන්නම්...'
'නෑ...කෙල්ල ඉන්න ඕනේ අම්ම එක්ක..මේකිව කොළඹ ලොකු ඉස්කෝකෙකට දාගන්න ඇහැකි..මට ඕනේ කෙල්ලට හොඳට උගන්නලා හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් විදියට හදලා ලොකු සමාජෙට දාන්න..ඒකි කවදහරි විභාගෙ කරන කාලෙක ඒකිටම කියල වාහනයක් තට්ටු ගානක ගෙයක් ඔය ඔක්කොම මම කරල දෙනවා...අම්මපා..'
'මාලනියෝ උඹ දන්නවනෙ කොලොන්නාවෙ මීනා...'
'ඔව් ඒකි මාත් එක්ක එක ඉස්කෝලෙ හිටියේ අනිත් එක ඒකිත් බබා හම්බවෙන්න කාස්ල් එකේ මාත් එක්ක එක වෝඩ් එකේ .....'
'හරි ඔව් ඔව් ඒ මීනා තමයි..උන්ට ගොඩක් ප්‍රශ්න බන්..ඔය මීනලගෙ අම්මා මගේ හොඳම යාලුවා ඒකාලේ..දැන් නැතිවෙලා ටිකක් කල්..පුළුවන් නම් ඒ පවූල ගැන ටිකක් බලපන්..ඒකිට ඉන්නෙ කොලු පැටියෙක්..මම ගියා බලන්න..ඒකිගෙ මිනිහා වෝටර් බෝඩ් එකේ වැඩ..ලෝන් වලට හිරවෙලා උන් හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ..මම පුළුවන් විදියට දුන්නා..ඒත් මට හැමදාම කරන්න අමාරුයි ...'
'මීනා හොඳ කෙල්ල...හරිම අහිංසකයි ඒ කාලේ..පොඩ්ඩ ඇත්නම් අඬනවා..මම උදව් කරන්නම් නැන්දේ..මේ මුඩුක්කුවේ ලැග්ගට සල්ලි වලින් අඩුවක් නෑ බන් මට...'
'මන් දන්නවා..මට උඹ පොරොන්දු වෙයන් ඔය පවුල දිගටම බලාගන්නව කියල..මීනගෙ අම්ම මට සහෝදරියෙක් වගේ...මාව ඕන තරම් හංගගෙන ඉඳලා තියනවා..උන්ගේ ජීවිතේ ගැන පවා හිතන්නෙ නැතුව ඒකි මාව ආරස්සා කරල තියනව ...'
'මම පොරොන්දු වෙනවා නැන්දේ..ඒ ගැන උඹ සැකයක් තියාගන්න එපා..'
හෙලේනා ටික දිනකට මාලනී සමග නතරවන්නට තීරණය කලාය. ඒ අතර පොලීසියෙන් කිහිප වතාවක් පැමින ප්‍රශ්න කිරීම් සිදුකරන ලදී. මාලනී හෙලේනාට පැවසූ ලෙසම තම දියණිය කොළඹ උසස් පාසලකට ඇතුලත් කර ගැනීමට හැකියාව ලැබුනි. කලු රංජිත් ගේ ඇති දේශපාලනික සම්බන්දකම් නිසා එය ඉතාම පහසුවෙන් කරගන්නට හැකිවිය.
හෙලේනාගේ කීම මත මීනාගේ පුත්‍රයාවත් කොළඹ උසස් පාසලකට දමා දීම රංජිත් අතින් සිදුවුනි. ඒ දෙදෙනාගේම පාසල් වියදම් සියල්ලක්ම දැරුවේ මාලනී විසිනි.
මෙතරම් මුදල් තිබෙන මාලනී තවදුරටත් මුඩුක්කු ජීවිතයක් ගත කරන්නේ ඇයිද යන්න ඔබට තිබෙන ප්‍රශ්නයක් වනවා ඇත. ඒවාට විසඳුම් සෙවීමට නම් අප මදක් අතීතයට යා යුතුය. මන්ද අතීතයකින් තොර වර්ථමානයක් නොමැති හෙයිනි.
..............අතීත සිදුවීම.........මීට වසර පහකට පෙර........
මාලනී ඔබේසේකරපුර පදිංචිකාරියකි. ඇය ඔබේසේකරපුර නමගිය පාතාල කල්ලියක අවසාන පුරුකයි. නමුත් එය ඉතා රහසිගත කරුණකි. මන්ද පොලීසිය සහ මාධ්‍යවේදීන් පවා සිතා සිටින්නේ ඒ පරම්පරාව අවසන් වූ බවය. මාලනීගේ පියා රහසිගත ලෙස ජීවත් වූ අයෙකි. පාතාලයේ ඔහුගේ එදිරිවාදීන්ට අමතරව කිසිවෙන් ඔහු ගැන හෝ ඔහු වැන්නෙක් ඉන්නවාද කියාවත් දන්නේ නැත. ඔහුගේ එදිරිවාදීන්ටත් ඔහුව ප්‍රසිද්දියට පත් නොකිරීමට හේතු තිබුනි. විශේෂයෙන්ම කොරලි ගුණේගේ කල්ලියට උවමනා වූයේ රහසිගතවම පියා දියණිය සහ හෙලේනා ඝාතනය කිරීමය.
මාලනීගේ පියාගේ පාර්ශ්වයේ අයගෙන් දැනට ඉතිරිව ඇත්තේ මාලනී සහ ඇගේ නැන්දා වන හෙලේනා පමනි. දැනට ඔවුන්ගේ ප්‍රභලතම විරුද්ධවාදීන් ලෙස සැලකෙන්නේ 'ඇපල් සෝමේ' ගේ කණ්ඩායමයි. ඔවුන්ගේ අභිලාශය වූයේ මාලනීගේ පරම්පරාව එතැනින් නතර කර දැමීමටයි.
එනිසා මාලනීට පිරිමි දරුවකු ලැබුනොත් අනිවාර්යයෙන් ළමයා මරා දැමීමට සෝමේ ඇතුලු කල්ලිය සූදානම් වී සිටියෝය. මාලනීගේ සැමියා මීට මසකට පෙර සිදුකල කුඩු වැටලීමකදී අතඅඩංගුවට පත්විය. එය සෝමේගේ වැඩක් බව තතු දන්නෝ පවසති.
මාලනී කාසල් රෝහලට ඇතුලත් කෙරුනේ තම කුලුඳුල් දරු ප්‍රසූතිය සඳහාය. මාලනීට ලැබෙන දරුවා පිළිබඳව සෝමේගේ පාර්ශ්වය උනන්දුවෙන් සිටියෝය.
හෙලේනා මාලනී සමගම සිටීම සෝමේලාගේ සතුටට හේතු නොවීය. මන්දයත් වයසක ගැහැණියක වුවත් හෙලේනා ගැන සෝමෙලා හොඳාකාරවම දන්නා නිසාය. මාලනීගේ ප්‍රසූතිය සඳහා දින සහ වේලාවන් මාලනීට ප්‍රථම සෝමේලා දැනගෙන තිබුනි. ඒ තරම් බලයක් ඔවුන් සතුව ඇත.
නමුත් වාසනාවකට මාලනීට ලැබුනේ ගැහැණු දරුවෙකි. වෙන පාතාල කෙරුම්ක් නම් මේ දරුවා වුවද මරා දමන්නට පසුබට වෙන්නේ නැත. සෝමේ එසේ නොකරන්නේ මන්ද?
අනික මාලනීව මරා දැම්මානම් වැඩේ හොඳටම ලෙහෙසිය. එතැනින් පරම්පරාව අවසානය...
එසේනම් මාලනී මරා නොදැමීමට හේතුව කුමක්ද?
කොතරම් මැරයෙක් වූවත් සමහරුන්ගේ දුර්වල තැන් පවතී. සෝමේගේත් එවැනි දුර්වල තැනක් පවතී. පාසල් යන කාලයේ මාලනී සෝමේ හා යහලු වී සිටියාය. ඇය පාසල් කාලයේ හැඩකාර මෙන්ම විසේකාර තරුණියකි. මේ දෙකටම ලොබ බැඳගත් සෝමේ ගේ යෝජනාවට අකමැති වන්නට මාලනීට හේතුවක් තිබුනේ නැත. ඒ වන විට සෝමේ පාතාලයට සම්බන්දයක් නැත. අනික ඔහු කඩවසම් තරුණයෙකි. මාලනීගේ යෙහෙලියන් පවා ඔහුට වසඟ වී සිටියෝය.
මාලනී සහ සෝමේගෙ පෙම් පලහිලව්ව රහසේ පවත්වාගෙන ගියේ ඒ වනවිට මාලනීගේ පවුලේ අය පාතාලයේ කෙරුම්කරුවන් වි සිටි නිසාවෙනි. එවකට මාලනීගේ පියාගේ පාර්ශ්වයේ ප්‍රභලතම එදිරිවාදියා වූයේ කොරලි ගුණේය. ඔහුගේ ගෝලබාලයන් විසින් පාසල් යන වයසේ සිටි සෝමේව පැහැරගත් බවට රාවයක් ගියේ ඔය අතරය. මාලනී කොතෙක් උත්සහ කලත් ඇයට සෝමේ පිළිබඳව තොරතුරක් සොයාගැනීමට නොහැකිවිය. අවුරුදු දෙකක් පමන ගතවීමේදී මාලනීට පියා සොයා දුන් තැනැත්තෙක් සමග විවාහ වීමට සිදුවිය. ඒ අතරතුර සෝමේ නැවත පැමිනියත් මාලනීගේ විවාහය නැවැත්වීමට ඔහුට නොහැකිවූයේ මාලනීගේ පියා සතුව පැවාති බලය නිසාවෙනි.
මාසයක් දෙකක් යන්නට මත්තෙන් ඇපල් සෝමේට පාතාලයේ ඉඩක් ලබාගන්නට හැකිවූයේ මන්ත්‍රී කොන්ත්‍රාත්තුවක් මත පුද්ගල ඝාතනයක් සිදුකිරීම හරහාය.
කොරලි ගුණේගේ සමීපතයකු අතින් මාලනීගේ පියා ඝාතනය වන්නේ ඇයගේ විවාහය දිනයේමය. ඇය සහ සැමියාට ගෙවල් හැරදමා පලායාමට උදවු කරන්නේ හෙලේනාය. ඉන් මාස දෙක තුනක් ගතවන කල්හි ඇපල් සෝමේ කොරලි ගුණේට අභියෝගයක් වන ලෙස නැගී එන්නට විය. පසුව ඔවුන් දෙදෙනාගේ විරසකය අවසන් වී එකම කණ්ඩායමක් බවට පත්වේ.
වත්තේ මිනිසුන් කියන ආකාරයට සෝමේ කොරලි ගුණේගේ පුත්‍රයෙකි. ගුණේගේ අනියම් බිරිඳකට දාව ඉපැදුන පුත්‍රයෙකි. ඒ කෙසේ වුවද කඩුවෙල සිටින පාතාල කල්ලි නායකයෙකුගේ තර්ජන නිරන්තරයෙන්ම කොරලි ගුණේ ඇතුලු කල්ලිය වෙත පැවතුනි.
මාලනීගේ පියාගේ මරණයෙන් කුපිත වී සිටි කඩුවෙල කල්ලිය ගුණේ මරා දැමීමට පිඹුරුපත් සැකසූහ.
මේ සඳහා හමුදාවෙන් පැන ආ තරුණයක් දෙදෙනෙකු යෙදවීමට කඩුවෙල කල්ලිය සමත්වූහ. ගුණේගේ නිවස අසලදීම ට්‍රෙල් බයිසිකලයක පැමිණි ඔවුන් දෙදෙනා වෙඩි වරුසාවක් එල්ල කලෝය. එයින් ගුණේගේ පාදයට සහ වම් උරහිසට සාර්ථක වෙඩි ප්‍රහාර එල්ලවුනි. නමුත් ගුණේ ගේ ගෝලබාලයන් මිනීමරුවන් දෙදෙනා පසුපස ලුහුබැඳ ගොස් වෙලක් අසලදී බයිසිකලය අනතුරට පත්කර ඔවුන්ගේ හිසටම වෙඩි තබා මරා දමා තිබුනි.
මේ සිද්දියෙන් බියටපත් ගුණේ කොයි මොහොතක හෝ නැවත තමාට ප්‍රහාරයක් එල්ල වෙන බව සිතීය. මෙහි සිටීම තම ආරක්ෂාවට තර්ජනයක් බව සිතූ ඔහු කාටත් රහසේම අතුරුදහන් විය. සමහරු පවසන්නේ කඩුවෙල කල්ලිය ඔහුව අල්ලාගෙන රහසේම මරා දමන්නට ඇති බවය. නමුත් සමහරු පවසන විලස ඔහු ඩුබායි රටට පලාගොස් ඇත.
ගුණේගෙන් හිස්වූ කිරුල ඇපල් සෝමේ ලබාගන්නා ලදී. ඔහු මාලනීව සොයාගෙන නැවත පැමිනෙන ලෙස දැන්වූවේය. මාලනීට සහ සැමියාට කිසිම කරදයක් සිදු නොවන බව ඔහු ශපත කලේය. හෙලේනාගෙ දැඩි අකමැත්ත මත මාලනී දැඩි තීරණයක් ගත්තාය. ඇය නැවත පැමිණියාය. ඇයගේ සැමියාටද ස්ථිර රැකියාවක් තිබුනේ නැත. සෝමේ විසින් ඔහුට කුඩු බෙදාහැරීමේ රැකියාවක් ලබාදෙන ලදී. වෙලාවේ හැටියට කරන්නට කිසිම දෙයක් නොවූයෙන් ඔහුට එය බාරගැනීමට සිදූවිය.
......
මාලනීට දුවක් ලැබුන නිසා සෝමේ ඇයට මුහුණටම පවසා ඇත්තේ..
'උඹට කොල්ලෙක් හම්බවුනානම් මම ඌව අනිවාර්යයෙන් මරල දානවා..ඒත් කෙල්ලෙක් නිසා බයවෙන්න දෙයක් නැහැ..මගෙන් කරදරයක් නෑ...උඹ දන්නවද උඹවත් මරන්නයි මට ඕඩර්ස් ආවේ..මන් නිසා උඹ බේරිලා ඉන්නේ..' යි කියාය.
මාලනී දරුවා සමග නිවසට ගොස් හෙලේනාගේ උදව් ඇතිව මාස හතක් පමන බිළිඳිය ඇතිදැඩි කලාය. මේ අතරේ හෙලේනාට ලැබූ රහසිගත පණිවිඩයකට අනුව වෙනත් පාතාල කල්ලි කෙරුමෙක් ඇපල් සෝමේගේ ගිණුමට බැරවන පරිදි මාලනීගේ දරුවා මරා දැමීමට කටයුතු සලසන බව දැනගන්නට ලැබිනි. වහා ක්‍රියාත්මක වූ හෙලේනා මාලනීගේ බිළිඳියද රැගෙන පලා ගියාය. හෙලේනා මාලනී සහ දරුවා දෙදෙනාම රැගෙන යාමට සූදානම් වුවත් මාලනී එයට කැමති වූයේ නැත.
'උන් ඇවිල්ලා මාව මරල ගියත් මම මෙහේ දාල යන්නෙ නෑ...' ඈ දැඩිව කියා සිටියාය.
තවත් මසක පමන කාලයකට පසු මාලනීගේ සැමියා නඩු වාරයක් සඳහා උසාවි ගෙනයන විට නාදුනන තුවක්කු කරුවකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්විය.
එයින් පසු ඇපල් සෝමේ නැවත මාලනීගේ සමග ඇයි හොඳයියකට මුල පිරුවේය. එයට විරුද්ධ වීමට හැකියාවක් නොතිබු ඈ ඔහු සමග සිටීමට එකඟ වූයේ ඉක්මනින් තම දියණිය තමා ලඟට ගෙන්වා ගැනීම සඳහාය. ඇය ඒ පිළිබඳව සෝමේව දැනුවත් කලද ඔහු කියා සිටියේ තවම එයට කාලය නොවන බවත් ඉවසා සිටින ලෙසත්‍ ය.
වැන්ඳඹුවක් වූ මාලනීගේ ජීවිතය නැවත ගොඩදැමීමට සෝමේට හැකියාව ලැබුනි. ඔහු ඇයව වෙනම නිවසකට රැගෙන ගියේය. අතමිට යහමින් ගැවසුන හෙයින් ඔහුට තට්ටු ගනනාවක නිවසක් මිලට ගෙන ආරක්ෂකයන්ද සමග තරමක් බියෙන් තොරව කාලය ගෙවන්නට හැකිවී තිබුනි. මාලනීද මෝස්තර සහිතව ඇන්ඳාය..වැඩකරුවන් සිටි නිසා ගෙදර එහෙමට වැඩක් කිරීමට ඇයට සිදුවූයේ නැත. නමුත් මේ ලද දේ වලින් ඔලුව උදුම්මවා නොගත් ඈ සෝමේගේ අනු දැනුම ඇතිව තම දුවගේ නමින් බැංකු ගිණුමක සැලකිය යුතු මුදලක් තැම්පත් කලාය. එය සෝමේට මුදල් ලැබෙන හැම අවස්තාවකම සිදුවිය.
මාලනි කිසිවිටක මුදල් නිකරුනේ වියදම් නොකලාය. ඇයට සෝමේගෙන් ලැබෙන සෑම මුදලක්ම ඇයගේ දියණියගේ ගිණුමට සහ ඇගේ ගිණුමට බැර කරන්නට ඇය කටයුතු කලාය.
මුදල් සහ පිරිස් බලය වැඩිවත්ම සෝමේ බීමට අමතරව ගණිකාවන් ඇසුරු කිරීමට පෙළඹුනේය. මුලදී මෙය මාලනීට හොරෙන් සිදු කරගෙන ගියත් පසුව මාලනීගේ අතටම අසුවීමෙන් තත්වය නරක අතට හැරුනි.
සෝමේ කිසිම පැකිලීමකින් තොරව නිවසටම ගණිකාවන් ගෙන එන්නට වූවේය. සතියට දෙතුන් වතාවක් එසේ කරන ඔහු මාලනීව යටත් කරගෙන සිටියේය.
ඔහුගේ පහර හමුවේ මාලනීද ගොලුවත නොරැක්කාය. දිනෙක බහින්බස් වීමකදී මාලනී එල්ල කල පහරකින් සෝමේ සිහි එලවාගත නොහැකි ලෙස ඇද වැටුනේය. ඔහුගේ ආරක්ශකයන් විගස ක්‍රියාත්මක වුවත් මාලනීගේ පෞර්ෂය හමුවේ ඔවුන් නිහඬ වූවෝය. ඔවුන්ගේද සහය ඇතිව සෝමේව ඇඳක හාන්සි කරවූ ඇය ඔහුගේ නිලයක් අල්ලා මුහුණට වතුර ඉසීම මගින් නැවත සිහිය ගන්නට සමත්විය.
ඇඳෙන් නැගිටගත් ඔහු ඇයට ගුගුලේය.
'තෝ මාව මරන්නද වේසියේ යන්නේ..'
ආරක්ෂක නිලධාරීන්ට ඉවත් වන ලෙස සලකුණු කල ඈ මෙසේ පැවසුවාය.
'උඹව මරන එක මට මහලොකු වැඩක් නෙමේ..දැන් උනත් ඒක කරන්න තිබුනා..ඒත් ඒක කරා කියල මට වෙන සෙතක් නෑ...'
'පර බැල්ලි ..මම උඹට හම්බ කරන් ගෙනත් දෙනවා ..ඒ ගුණේ තියපන්..මට අත උස්සන්න උඹට මොන හයියක්ද?'
'එහෙනම් මට අත උස්සන්න උඹට තියන හයිය මොකද්ද ..එක එක වේස ගෑණු මේක අස්සෙ දාගෙන මට තඩිබාන්න හදන්න එපා..උඹ ඕන වේසියෙක් එක්ක නිදාගත්තට මට කමක් නෑ..හැබැයි මෙහේට එකෙක්වත් ගේන්න බෑ...ආයේ එහෙම ගෙනාවොත් උන්ට රෙදි නැතුව තමයි මෙහෙන් එලියට යන්න වෙන්නේ....'
මාලනීගේ වචන හමුවේ සෝමේ තරමක් සැලුනේය. මාලනී එසේ මෙසේ ගැහැණියක් නොවන බව ඔහුට තේරුම්ගොස් තිබුනි. සෝමේට මාලනී තම උපරිමයෙන් සැලකුවාය. කෑම බීම පවා ඇගේ අතින් පිළියෙල කරන ලදී. සේවකයන් ලවා කෙරුනේ ඉතිරි වැඩකටයුතුය. මාලනීගේ වැරැද්දක් නොමැති නිසා සෝමේ මින් පසු කිසි දිනෙක ගණිකාවන් නිවසට රැගෙන ආවේ නැත. නිවසේ පවත්වන මත්පැන් සාදද අඩු කෙරුනි. මෙසේ අවුරුදු දෙක හමාරක් පමන ඔවුන් එකට ගත කලෝය.
නමුත් එක් දිනක ප්‍රධාන ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වෙනුවෙන් සාදයක් ඔවුන්ගේ නිවසේ පැවැත්වීමට කටයුතු යොදා තිබුනි. සාදය සඳහා පැමිණියේ ලඟම හිතවතුන් කිහිපදෙනෙක් පමනි.
සියල්ලන් මත්පැනින් හොඳහැටි සප්පායම් වන්නට පටන් ගති. සෙමෙන් ආරම්බවුනු ගීත ගැයීම තරමක වේග රිද්මයක් බවට පත්වීමට වැඩිවේලාවක් ගතවූයේ නැත. මේ ඝෝෂාකාරී අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නට මාන බලන කල්ලියක් ගේට්ටුවෙන් පිටත සිටියහ. ඔවුන්ගෙන් දෙදෙනෙකු නිවස තුල සිටින බව කිසිවකු දැන සිටියේ නැත.

ඉතිරිය පසුවට ....

No comments:

Post a Comment

අලකලංචිය - දහහතරවන කොටස

කාමරයේ අගුලු දමා ඔහුව කාමරයේ සිරකොට ඇලී සහ සරණී වහා ඔහුහේ වාහනය වෙත ගියෝය... 'සරණී මම drive කරන්නම්..ඔයා මට ගේට් එක clear කරල දෙන්න...