Monday, April 20, 2020

අලකලංචිය - හතරවන කොටස

'නැන්දේ කෙල්ල ලෑස්තියිද ...දැන් වෑන් එකත් එනව ඇති..' 
'ඔව් ඔව් ..රිබන් එක ගැටගහන ගමන් ඉන්නේ..'
'ඉක්මන් කරපල්ලා..දැන් වෑන් එකත් ලඟ එනව ඇති..'
මාලනීට දැන් නිවසේ වැඩ වැඩිය. තම දියණියගේ පාසල් කටයුතු සහ අනෙක් සියලුම වැඩ කරන්නේ මාලනී විසිනි. උදයේ දරුවා ලැහැස්ති කරවීම පමනක් හෙලේනා සිදු කරයි. අඩුම තරමේ හෙලේනාට කෑම පිසීමට පවා මාලනී ඉඩ නොදෙයි. හෙලේනා කොස්සක් රැගෙන අතුගාන්නට ගියත් මාලනී ඇයව වලකාලයි.
'නැන්දේ උඹ ජීවිතේ දුක් වින්දා හොඳටෝම ඇති..දැන්වත් පාඩුවේ විවේකෙන් ඉඳපන්..මට මේ වැඩ කරතැහැකි. අනික උඹ ළමයි කීයකගේ වැඩ කලාද ...'
'හරි බන්..ඒත් තාම මගේ අතපය හයියයි...නිකන් කකා බිබී ඉන්න බෑ බොල..වැඩක් පලක් කලාමයි හිතට සහනයක් දැනෙන්නේ...'
'ඒකෙන් කාරි නෑ..උඹ පාඩුවේ හිටපන්කෝ..මට බැරි වුනොත් මම උඹට කියන්නම්...'
'ඒක නෙමේ බන්...දැන් ඇත්තටම මොකද්ද උඹ ඉස්සරහට කරන්න ඉන්නේ...'
'රංජි අයියලගේ පවර්ස් එහෙම අඩුවීගෙන එන්නේ...පොලීසිය දැන් බය නැතුව අපේ උන් අල්ලනවා..ඉස්සර කරපු චණ්ඩිකම් කරන්න ගොඩක් එවුන් දැන් ඇත්තටම බයයි...'
'හ්ම්ම්..ඇති යන්තම් ගෑණිට මොළේ පෑදීගෙන එනවා වගේ...උඹ බලන්නේ මොකෙක් හරි ඇමතියෙකුට සෙට් වෙන්න නේද ..'
'ඔව්..හැබැයි එතනින් නතර වෙන්නෙ නෑ...මම දිගටම යනවා..'
'ඔව් ...උඹ ඉගෙන ගත්තු එකෙනුත් ප්‍රයෝජනයක් ගනින්..ලොකුවට කැම්පස් යන්න ඉගෙන නොගත්තට උඹ විභාග පාස්නේ...'
'උඹ හරි නැන්දේ...උඹ මගේ ලඟ ඉන්න නිසා මට මගේ ගමන යන්න ලේසියි..'
මාලනී එවකට ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරයෙකු හා සම්බන්ද වීමට මාන බලාගෙන සිටියාය. එය රංජි හරහා කරගන්නවාට වඩා තමාම කරගත යුතුය යන අදහසේ ඈ සිටියාය.
ඈ මුලින්ම සමාජ සේවයට තම කාලයෙන් කොටසක් වැය කිරීමට පෙළඹුනාය. තමා සිටිනා ප්‍රදේශයේ අසරණ පවුල් තෝරාගෙන ඔවුන්ට මූලික මුදල් ලබාදී ස්වයං රැකියා කිරීමට ඇය උනන්දු කරවන ලදී. ඒසේ සාදන භාණ්ඩ මිලදී ගැනීමට වෙළඳ පොළක් පවා ඈ ඇතිකරදෙන ලදී. නිතරම වගේ ඒ මිනිස්සුන්ගේ ඕනෑ එපා පිළිබඳව සොයා බැලූ ඇය ඔවුන්ගේ ස්වයං රැකියාව නිසි පරිදි කරගෙන යනවාද කියාත් අවධානයෙන් සිටියාය. කිසිවකුට රැකියාව අතරමග නවතාදමන්නට ඉඩ නොදුන් ඇය ඔවුනට ඇති ගැටලු වලට නිසි විසඳුම් ලබා දුන්නාය.
ප්‍රදේශයේ සිගරට්, අරක්කු සහ ගංජා බීගෙන කාලය කා දමනා තරුණ පරපුර වෙනුවෙන් පරිඝනක පාසලක් ආරම්භ කර ඔවුනට එහි නොමිලයේ අධ්‍යාපනය හැදෑරීමට ඉඩ සලසා දුන්නාය. මේ සඳහා ඇගේ පෞද්ගලික මුදල් මෙන්ම ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් ලැබුන ආධාර යොදවනු ලැබීය. එමගින් තරුණයෝ මෙන්ම තරුණියෝ සෑහෙන පිරිසක් ඒ හරහා එක්‍ රොක් වූහ. නමගිය පරිඝනක ආයතන සම්බන්ද කරගෙන ඔවුනට විභාග ආදිය පවත්වා අවසානයේ සහතික පත්‍රයක්ද සමග රැකියා වලට යොමුකරවීමට ඈ වගබලා ගත්තාය. ත්‍රීවීලර් එලවමින් සිටි තරුණයන් පවා මේ සඳහා යොමුකරගැනීම ඈ ලද ජයග්‍රහණයකි.
අතීතයේ මෙන් නොව ගමේ පන්සල සමග සෘජු සම්බන්දතා පවත්වාගත් ඇය පන්සලේ ප්‍රධාන දායිකාව බවටත් පත්වූවාය. දහම් පාසල්වල ස්වේච්චා ගුරුවරුන් දිරිමත් කර ඔවුනට අවුරුදු දෙකක සේවා කාලයක් සම්පූර්ණ කලවිට ස්ථිර රැකියා වලට යොමුකිරීමට කටයුතු යෙදුවාය. එමගින් දහම් පාසලේ ඉගෙනුම ලබන ළමුන් ධර්මාචාර්ය දක්වා ගෙනයාම පහසුවිය. පන්සලේ ලොකු හාමුදුරුවන් පවා මාලනීගේ වැඩ පිළිබඳව දැඩි විශ්වාසයකින් මෙන්ම පැහැදීමකින් කතා කලහ.
මාලනී උපතින් ක්‍රිස්තියානි කාන්තාවකි. ඇයගේ පරම්පරාවම එසේය. එසේ තිබියදීත් පන්සල සමග ඇතිකරගත් මේ සබඳතා පල්ලිය මුලදී රිස්සුවේ නැත. ඒ බව මැනැවින් වටහාගත් මාලනී පල්ලිය සමගද නැවත සබඳකම් අලුත් කරගත්තාය. සෑම ඉරුදිනකම උදෑසන දේව මෙහෙය ඈ මගනොහැරියාය. එසේම පල්ලියේ තරුණ ක්‍රිස්තියානි සමිති ආදී සෑම සමිතියක් සමගමත් සෘජුව කටයුතු කලාය.
ගමේ පල්ලිය සහ පන්සල යාකෙරෙන පාලම බවට ඈ පත්වූවාය. සිංහල අවුරුද්ද සියලුම ගම්වාසීන් සමරන විට පන්සල සමග පල්ලියද එකතු කරගැනීමට ඈ සමත් වූවාය. එලෙසම නත්තල් උත්සවයේදී ගමේ පන්සලත් ඒ සඳහා සක්‍රීයව සම්බන්ද කරගැනීම ඈ ලද තවත් ජයග්‍රහණයකි.
මෙසේ තම ජනයා අතර මාලනී කැපී පෙනෙන චරිතයක් බවට පත්වූවාය. විවිධ දේශපාලකයෝ තම දේශපාලන කටයුතු වලට සම්බන්ධ වන ලෙසට ඇයට ගෝලබාලයන් හරහා පණිවිඩ එවූහ. ඇය ඒවා ප්‍රතික්ෂේප කලේ ඒ සඳහා උනන්දුවක් නොදක්වන බව කියමිනි. මෙයින් නොනැවතුනු වත්මන් ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරු මෙන්ම ඇමතිවරුද ඇයව නිවසටම පැමින හමුවන තත්වයට පත්විය. ඇයට උවමනා කලේත් එයමය. ලොකු තැන් තමා ලඟට ගෙන්වාගෙන ඔවුන්ගේ කැමැත්ත, බලකිරීම නිසා තමා දේශපාලන කටයුතු වලට එකතුවන බව තම ජනතාවට පෙන්වීම ඇගේ අභිලාශය විය. මන්ත්‍රීවරු මායිම් නොකල ඈ ඇමතිවරු සමග සම්බන්දකම් පැවැත්වූවාය. ඔවුන් මගින් තම ප්‍රදේශයේ සෑහෙන පොදු කටයුතු ප්‍රමාණයක් ඉටුකර දීමට ඇය සමත්විය.
ඇයගේ සමාජ සේවය තම ප්‍රදේශයට පමනක් සීමා නොවී ක්‍රමයෙන් කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, මැද කොළඹ ආදී ලෙස ආසන මට්ටමෙන් සිදුකිරීමට ඈ මහත් පරිශ්‍රමයක් යෙදුවාය. මේ ප්‍රදේශවල නමගිය චරිතයක් බවට පත්වීමට ඇයට වැඩිකලක් ගත්වූයේ නැත.
ආණ්ඩු පක්ෂයෙන් තරඟ වැද තම ආසනයේ නගරාධිපතිනිය බවට පත්වීම ඇය ලැබූ විශාල ජයග්‍රහණයකි. ඇය ජීවත් වූ කුඩා ගෙය සාමාන්‍ය ප්‍රමාණයේ එකක් බවට පත්කර ගත්තේ ඇය නගරාධිපතිනිය බවට වූ පසුවයි. එය ඈ හිතාමතාම කල දෙයක් විය. එමගින් විශාල මහජන අනුකම්පාවක් ලබාගැනීමට ඇයට හැකිවුනි.
'බලන්නකො අපේ නගරාධිපතිතුමිය මිනිස්සුන්ට උදව් කලාට තමන්ට ඉන්න හරිහමන් තැනක් හදාගත්තෙ ඒ තනතුරට ආවටත් පස්සෙ...'
'අනේ අපේ මාලනී මැඩම්ට බුදුබව ලැබෙන්න ඕනේ..හරිම නිහතමානී නෝනා කෙනෙක්...අපිට කොච්චර නම් උදව් කලාද ..අනේ පව් අසරණි තමන්ට කියල ගේ කෑල්ලක් හදාගන්නෙ නැතුව..'
'ජේසු පිහිටයි අපේ මැඩම්ට..මැඩම් නැතිවෙන්න අපේ පල්ලියත් නෑ...ජේසු අපිත් එක්ක ඉන්නවා..දෙවියන් වහන්සේට ස්ත්‍රෝත්‍ර වේවා...'
මේ ආදී වශයෙන් සාමාන්‍ය ජනයාගේ නිබඳ ගෞරවයට අනුකම්පාවට ඇය පාත්‍ර වූවාය. ඇය මේ සියලු දේ කරගෙන ගියේ හෙලේනාගේද සහය සහ උපදෙස් ඇතුවය. තම දියණියගේ වැඩකටයුතු මේ නිසා ඇය අතින් මගහැරුනත් හෙලේනා ඒවා නිසි ලෙස ඉටුකලාය.
දැන් මාලනීගේ දියණියට අවුරුදු දහයකි. ඇය පල්ලියේ ගීතිකා කණ්ඩායමට තෝරා ගැනුනේ ඇගේ මිහිරි කටහඬ නිසාමය. ඇය පන්සලට වඩා එකතුවූයේ පල්ලිය සමගයි. ඉරුදින දහම්පාසල් පවා ඇය ගියේ පල්ලියටයි.
...........
'සරණි ඔයා සින්ග් කරනවා හරිම ලස්සනයි. ස්වීට් වොයිස් එකක් ඔයාට තියෙන්නේ ඩියර්...' ගීතිකා කණ්ඩායමේ ප්‍රධානී සිල්වියා පැවසුවාය.
'අපිට හොඳ මේල් වොයිස් එකකුත් ඕනේ පොඩි අයගේ..කවුද ඉන්නේ පුතාලා හොඳට සින්ග් කරන්න පුළුවන් ..' ගීතිකා කණ්ඩායමේ ජේෂ්ඨ සාමාජිකාවක් ඇසුවාය.
එක් කඩවසම් කුඩා ළමයෙකු 'I can sing...' යනුවෙන් පවසනු ඇසුනි. සැවොම ඒ කුඩා ළමයා දෙස බැලුවෝය..
'Right...sing a nice one darling ..' සිල්වියා ඔහුට ගායනය සඳහා ඇමතුවාය..
වයස අවුරුදු දහයක ළමයෙකුට ලෙහෙසියෙන් ගායනය කල නොහැකි Bob Dylan ගේ Knockin' On Heaven's Door ඔහු ගායනා කරද්දී අසා සිටි සැවොම මවිතයට පත්වූයේ කෙසේදයත් පල්ලිය තුල අන් කිසිම හඬක් නොවීය...පියතුමා පවා අල්තාරය අසල සිට නොසෙල්වී ගායනය අසා සිටිනු පෙනුනි. ගායනය නිමවු පසු සියල්ලෝම එක හඬින් අත්පොළසන් දුන්නෝය. සිල්වියා පියානෝ වාදනය අවසන් කර නැගිට කුඩා දරුවාව සිපගත්තාය.
'What is your name young man?'
'Marlon..'
'Wow...that was simply amazing ...Marlon..'
'Thank you...'
සියල්ලෝම ඔහුගේ හඬ පිළිබඳව පැහැදුනෝය. සරණි මින්පෙර මාලන්ව දැක තිබුනත්, පවුලේ ඇඳුනුම්කමක් තිබුනත් වැඩිපුර කතාකර තිබුනේ නැත. ගීතිකා කණ්ඩායමදී නැවත ඔහුව හමුවීම නිසා මොවුන් වැඩි වශයෙන් එකිනෙකා ඇසුරු කිරීමට අවස්තාව ලැබුනි...
මාලන් පල්ලියේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වීම ඉක්මනින්ම සිදුවුනි. ඔහුගේ ගීත ඇසීමට ප්‍රිය නොකල කෙනෙක් නොමැත. පූජාව අවසන් වූ පසුව ඉරුදින පාසල් පටන් ගැනීමට මත්තෙන් ඔහුගෙන් ගීතයක් අසාගැනීමට බොහෝදෙනා පොරකති. ඔහු බයිබල් කියැවීමේද දක්ෂයෙකි. මාලන් බොහෝවිට සිටින්නේ සරණි සමගය. ඔවුන් ඉතා ඉක්මනින් හොඳම යහලුවන් බවට පත්වූවෝය. මේ ආකාරයෙන් කාලය ගෙවීගියේ සැමටම කරදර වලින් තොරව සාමකාමී ලෙසටය..
..................වසර දහයකට පසු...................
රාජගිරිය පීසාහට් හී කෑම ඇණවුම් කර ඒ සඳහා බලා සිටින තරුණ යුවලකි.
'මුන්ට මේක හදන්න මෙච්චර වෙලා යනවද..ගෙදර ගියානම් මෙලහට කාල..'
'අනේ නිකන් ඉන්නවා..තමුසේ ට්‍රීට් එක නොදී ඉන්නනේ හැදුවෙ...දැන් වැඩක් නෑ..සල්ලි ගෙවලා...කොයි වෙලාවෙහරි ගේනකම් ඉන්න වෙනවා..'
'මාලන්...දැන් කියන්න ඇත්තටම මොකද්ද ඔයා කරන්න යන්නේ..'
'මම මොනව කලාම තමුසෙට මොකෝ..තමුසෙ කැම්පස් යනව මම යන්නෙ නෑ...සිම්පල් ඈස් දැට්..'
'ආයේ කරල බලමුද ..'
'අනේ මේ..මගෙන් අගගන්නෙ නැතුව ඉන්නවද...කැම්පස් ගිහිල්ලා නාස්ති කරන්න ජීවිතයක් මට නෑ..මගේ ගෝල් එකට යන්න ඕනේ..'
'අනේ මන්දා තමුසෙගෙත් බක පණ්ඩිතකම තමා ඔක්කොටම මුල..'
'හරි හරි දැන් කියනව තමුසෙ කැම්පස් ගිහිල්ලා ඊලඟට මොකද කරන්නේ..'
'කැම්පස් ගිහිල්ලා මුලින්ම හොඳ කොල්ලෙක් හොයා ගන්න ඕනේ...මගේ ටෲ ලව් එක එහේදි හරි හම්බ වෙයිද බලන්න..'
ඔහු මහ හඬින් සිනාසෙන්නට විය..
'ඕහ් ජීසස් රිලීස් හර් සෝල්' (Oh Jesus..release her soul)
'ඇයි මොකෝ අපිට කොල්ලො සෙට් වෙන්නෙ නැද්ද ..'
'ඒක මොනා උනත් තමුසෙ හින්දා මට කොච්චර චාන්සස් මිස් උනාද බලනව..කෙල්ලො කීදෙනෙක්ගේ ක්‍රශ් එකද මන්..'
'හිතන් ඉන්න හැටි තමා..මටයි තමුසෙ නිසා කොල්ලෙක් සෙට් කරගන්න බැරිවුනේ..කොහෙද ඉතින් කොහේ ගියත් වලිගෙ වගේ එනවනේ...'
'හිටපන් උඹට මම..පලයන් කැම්පස් තනියම...හොයාගන්න කොල්ලටම කියපන් ගිහින් දාන්න කියල..'
'මාලන් විහිලුවට නේද කියන්නේ..මට ඉන්නේ ඔයා විතරයි..' ඇයගේ මුහුණ අඳුරු විය.
'තමුසෙ බය නැතුව ඉන්නව ..තමුසෙට කොල්ලෙක් සෙට් වෙනකම් මම තමුසෙව බලාගන්නවා...දන්නවනේ ඉතින් මැස්සෙක්ටවත් වහන්න දෙන්නෙ නෑ..'
'හම්මේ ඔන්න කෑම එනවා..'
'මේ පෙරේතියෙක් වගේ කන්නෙ නැතුව හිමීට කනවා..එහෙනම් චියර්ස්...අයි විශ් යූ අ ෆකින් බ්‍රයිට් ෆියුචර්..' (Cheers ..I wish you a fucking bright future)
'චියර්ස් මාලන්..තෑන්කියූ ෆෝ එව්‍රිතින්..යූ ආර් ද කී ටු මයි සක්සස්..' (Cheers Marlon, thank you for everything ..you are the key to my success..)
කෑම කා අවසන් වූ පසු තරුණ යුවල බයිසිකලයේ නැගී රාජගිරිය පල්ලිය දෙසට යනු පෙනුනි. පල්ලියේ විනාඩි පහළොවක් පමන ගතකල ඔවුහු නිවස බලා පිටත් වූවෝය.
එය මහල් තුනක විශාල නිවසකි. විශාල කලු ගේට්ටුවක් සමග එතැන පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකි. ආරක්ෂක නිලධාරීන් දෙදෙනා කලු පැහැති අවු කණ්නාඩි පැලඳ සිටිති. ඔවුන් බයිසිකලයෙන් පැමිනෙන විට ගේට්ටු විවර විය. ඒවා ස්වයංක්‍රීය ගේට්ටු ය. විදිමත්ව කපා තිබූ තණකොළ සහිත ගෙවත්ත කොනක තිබෙන වෛවර්ණ පුෂ්පයන් නිසා අලංකාරය තීවර වෙයි.
නිවස වටේටම ආරක්ෂක නිලධාරීන් අවි අතැතිව සිටී. වහල මත සෝලා
පැනල කිහිපයක් පෙනෙන්නට තිබේ. මිදුලේ බෙන්ස් රථයක්ද තවත් ජීප් රථ දෙකක්ද නවතා තිබේ.
පළමු මහලේ සඳලුතලයේ සිට බයිසිකලයෙන් පැමිණි යුවල දෙස බලාසිටින මැදිවියේ කාන්තාවකි. ඇයගේ මුහුනේ සිනා රැල්ලකි.
ඇයව දුටු තරුණිය අතවනා කෑගැසුවාය...

ඉතිරිය පසුවට

No comments:

Post a Comment

අලකලංචිය - දහහතරවන කොටස

කාමරයේ අගුලු දමා ඔහුව කාමරයේ සිරකොට ඇලී සහ සරණී වහා ඔහුහේ වාහනය වෙත ගියෝය... 'සරණී මම drive කරන්නම්..ඔයා මට ගේට් එක clear කරල දෙන්න...